සබරගමු පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය යටතේ පූර්ව ළමාවිය අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු ඩිප්ලෝමාධාරීන් වෙත සහතික ප්‍රදානය කිරීම සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අතින් අද(2024/12/13) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
දැනට සබරගමුව පළාතේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පෙර පාසල් ගුරුවරුන් ලෙස සේවය කරන සහ රැකියා විරහිත තරුණියන් මෙම පාඨමාලාව හදාරා ඇත.
රත්නපුර මෙනේරිපිටිය අධ්‍යාපන සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සති අන්ත වසර දෙකක පුහුණුවක් මෙම ඩිප්ලෝමාධාරීන් සඳහා ලබා දේ.
එම පාඨමාලාවේ කථිකාචාර්යවරුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දේශකයින් සහ ගුරුභවතුන් ක්‍රියා කරයි. මෙවර ඩිප්ලෝමා ලැබූ සිව් වන කණ්ඩායමට පනස්හත් දෙනෙක් (57) එක්ව සිටි අතර, මෙහි 200ක් පමණ මේ වන විට කාණ්ඩ හතර තුළින් ඩිප්ලෝමා හිමි කර ගෙන සිටියි. එම පාඨමාලාව සඳහා රු.30,000ක මුදලක් අය කෙරේ. සබරගමුව පළාත පුරා අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන 1536ක් ක්‍රියාත්මක අතර, ඒවායේ ළමුන් විසිඅටදාහක් (28,000) පෙර පාසල් අධ්‍යාපනය ලබයි. මෙම මධ්‍යස්ථානවල ගුරුභවතුන් තුන්දහස් එකක් (3001) සේවය කරයි.
වර්ෂ 2010 අංක 42 දරණ සබරගමු පළාත් සභා ප්‍රඥප්තිය මඟින් සබරගමු පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය බලාත්මක කර ඇති අතර, ඒ යටතේ පළාතේ සියලුම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලනය වේ. එම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන පෙර පාසල් ගුරුභවතුන් අනිවාර්යයෙන්ම පූර්ව ළමාවිය අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරිය යුතුයි.
සබරගමු පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරියට අමතරව පේරාදෙණිය, සබරගමුව, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල සහ වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 63ක් මඟින් මෙම ඩිප්ලෝමා පාඨමලාව හැදෑරිය හැකියි.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩ, සබරගමු පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක එස්.ජේ.එන්.බී.කෝරලේගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.